Thursday, December 13, 2018









පැසැල් සිසුන් අතර සීඝ්‍රයෙන් පැතිර යන මත්ද්‍රව්‍ය, අපචාර හා විවිධ අපරාධ මර්ධනය කිරීමේ අරමුණින් කුරුණෑගල දිස්ත්‍රික්කය තුල මින් ඉදිරියට මත්ද්‍රව්‍ය අපචාර හා අපරාධ සම්බන්ධයෙන් චෝදනාවට ලක්වන සිසුන්ට එරෙහිව දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කුරැණෑගල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති වසන්ත කිත්සිරි ජයලත් මහතා තීරණය කර තිබේ.

පාසැල් සිසු සිසුවියන් අනාගතය සහ අධ්‍යාපන ගැන සැලකිල්ලට ගෙන මෙතෙක් මෙවැනි චෝදනා සම්බන්ධයෙන් ලිහිල් ක්‍රියාමාර්ග අනුගමනය කළද, වර්තමානයේ පවතින සමාජ ව්‍යසනයන් පිළිබඳව  සැලකිල්ලට ගෙන එවැනි චෝදනා වලට හසුවන සිසුන්ට එරෙහිව දැඩි අධිකරණයමය  ක්‍රියාමාර්ග ගන්නා බවද, ජයලත් මහතා ප්‍රකාශ කලා.

මේ අනුව ගංජා, මත්පෙති, ළඟ ලබා ගැනීම, යමෙකුට හානි කළ හැකි ආයුධ  ළඟ තබාගැනීම, ජංගම දුරකතන තුළ අසභ්‍ය චිත්‍රපට සහ අසැබි දසුන් රඳවා තිබීම, ප්‍රසිද්ධ ස්ථානවල අසභ්‍ය ලෙස හැසිරීම, හෝටල් කාමර තුළ රැදී සිටීම, යන චෝදනා සම්බන්ධයෙන් ඉදිරියේදී දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවද ඒ මහතා සඳහන් කළා.

මේ පිළිබදව කුරුණෑගල දිස්ත්‍රික්කයම ආවරණය වන ආකාරයට කුරුණෑගල, කුලියාපිටිය, නිකවැරටිය, ගල්ගමුව යන ප්‍රධාන නගර ආශ්‍රිතව ජනතාව සහ පාසැල් සිසුන් දැනුවත් කිරීමේ විශේෂ වැඩ පිළිවෙලක්ද නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය මගින් දියත් කර තිබේ.

නිල ඇඳුමෙන් සහ සිවිල් ඇඳුමෙන් සැරසුණු පොලිස් නිලධාරීන් යොදවා මෙම ප්‍රධාන නගර සියල්ලේම නිරන්තරයෙන්ම සෝදිසි මෙහෙයුම් දියත් කරන බවත්, පාසැල් සිසුන් ළඟ මත්ද්‍රව්‍ය ඇති දැයි සෙවීම සඳහා ඒ වෙනුවෙන් විශේෂ පුහුණුවක් ලත් පොලිස් නිල සුනඛයන් යෙදවීමට පියවර ගෙන ඇති බවත් නියෝජ්‍ය පොලිස්පතිවරයා ප්‍රකාශ කළේය. මීට අමතරව බොහෝ සෙයින් අපචාර ක්‍රියා සිදුවෙතැයි වාර්තා වී ඇති කුලියට දෙන හෝටල් කාමර පිළිබදව සේම, ප්‍රධාන නගරවල  පිහිටා ඇති චිත්‍රපට ශාලාවල සිනමා දර්ශන නැරඹීමට ඇති ‘‘ බොකස් ආසන" පිළිබඳවද විශේෂ අවධානයක් යොමුකර  ඇති බවද, නියෝජ්‍ය පොලිස්පති තුමා පැවසීය. 

ලාබාල පාසැල් සිසුන්ට මෙම බොක්ස් ආසන විකිණීමෙන් වළකින  ලෙස සිනමා ශාලා කළමනාකරුවන්ට අවවාද කිරීමටද පියවර ගෙන ඇති අතර ප්‍රසිද්ධ ස්ථානවල, රජයේ සහ පෞද්ගලික අංශයේ කාර්යාලවල, ආගමික සිද්ධස්ථානවල, බස් රථවල, සහ ත්‍රීරෝද රථවල මෙවැනි අපරාධ සහ අපරාධ පිටුදැකීම සම්බන්ධව ජනතාව දැනුවත් කිරීමටද නියෝජ්‍ය පොලිස්පතිතුමා විසින් පියවර ගෙන තිබේ.








No comments:

Post a Comment